නාඋල ගමන
හුඟක් කාලෙක ඉඳල තමයි නාඋල යහළුවා මට එන්න කියන්නෙ. ඒත් මේ කොරෝනා උවදුර නිසා මම හැමවිටම තව ටිකක් බලමු කිය කියා ගමන කල් දැම්මා. දැන් දැන් යහළුවාගේ මුහුණත් අමතක වෙලා වගේ නිසා මා හිතුව මේ සතියේ කොහොම හරි යනවා කියලා. මේ යහළුවා තිස්ස ඈපා. මට හමු උනේ ගම්මන්තැන්න ගිය ගමනෙදි. එදා අපේ මග පෙන්වන්නා. එදා ඇතිවුනු යහළුකම නිසා ඔහු මට නිතරම එන්න කියනවා. මමත් මේ යන්නේ නිකම්ම නොවේ. මගේ හිතේ තියනවා සැලසුම් ගොඩක්. අඩුම තරමින් එකක් වත් ගොඩදාගන්න තමයි කල්පනා කරන්නේ.
2021. 12. 07 වැනිදා උදේ පාන්දර නැගිටලා සූදානම් උනා. සෝමාත් නැගිටලා ඇවිත් මට තේ එකකුත් හදල දීලා ගමන් ගාස්තු සල්ලිත් දුන්නා. මම මගේ ගමන මල්ලත් අරං පාන්දරම පහමාරට විතර පිටත් උනා. පයින්ම වැලිවේරිය නගරයට ගිහින් ගම්පහට යන සීටීබී බසයෙන් මිරිස්වත්තට ගියා. ගිහින් දඹුල්ල හරහා වව්නියා යන බසයක නැග ගත්තා.
බසය යක්කල, නිට්ටඹුව, වරකපොල, අලව්ව, පොල්ගහවෙල. පොතුහැර, කුරුණෑගල, ඉබ්බාගමුව, ගොකරැල්ල, මැල්සිරිපුර, ගලේවෙල, පසුකොට කොට දඹුල්ල ට ලඟා උනා. ඉබ්බාගමුව හා මැල්සිරිපුර හරියේ අපූරු කුඩා වනාන්තර දෙකක් හමු වෙනවා. දඹුල්ලෙන් මම බසයෙන් බැහැල නුවර පාරෙ මාතලේ යන බසයට ගොඩ උනා. බසය ගමන් කලේ ඉතා හෙමින්. ඒකත් හොඳයි මට පාර දෙපස හොඳින් බලා ගෙන යන්න පුළුවනි. දඹුලුඔය, ලෙනදොර, බොබැල්ල, පහුවෙල් නාඋල ට ආවා. මට ඇලහැර හන්දියෙන් බැහැ ගන්න බැරි උනා. මම බස් නැවතුමෙන් බැහැල නැවත ආපසු පයින්ම ඇලහැර හන්දියට ආවා. ත්‍රී රෝද රථයක රියදුරෙකුට කථා කරල බැලුවම ඔහු මාව ඇලහැර පාරේ ටික දුරක් ගිහින් තිස්ස ලාගේ මිදුලටම ගෙනගියා. තිස්ස ඉදිරියට ඇවිත් මාව පිලිගත්තා.
මේ පින්තූරේ තියෙන්නේ තිස්ස ගේ මිදුල. අඹ ගස් පෙළක් බොහොම පිළිවෙලට සිටුවා නඩත්තු කර ඇති බව පෙනී ගියා.
මම පුටුවක වාඩි වෙනවත් එක්කම තිස්ස ගේ පිටුපස තැඹිලි ගහෙන් ගෙඩියක් කඩා ගෙන ඇවිත් කපල මට දුන්න. අප්පා වෙහෙස කොහෙන් ගියාද දන්නෙ නැහැ. මෙහෙ තැඹිලි රසයි වගේ කියල මට හිතුණා. ටික වෙලාවක් ආ ගිය තොරතුරු කථා කරමින් ඉඳල මම ඇඳුම් මාරු කරල හොඳින් නාගත්තා. ඒ අතර තිස්ස ගිහින් පාසලෙන් ඔවුන්ගේ පුතා ව අරං ආවා.
No comments:
Post a Comment