ඔව්. ගම්මන්තැන්න.
ප්‍රගීත් ආවේ රෑ 12.45 ට. මමත් මගේ ගමන් මල්ලත් අරං මෝටර් රථයට නැග්ගා. අපිට රදාවානට යන්න අවශ්‍යතාවයක් තිබුනු නිසා අපි වැලිවේරියේ ඉඳලා ගියේ කිරිඳිවැල පාරෙන්. අත්තනගල්ල, පස්යාල, වරකාපොල, කුරුණෑගල, මැල්සිරිපුර ට. මැල්සිරිපුර රාත්‍රි රොටී කඩයක නවත්වලා තේ බිව්වා. ඊ ලඟට දඹුල්ල හරහා නාඋල ට. නාඋල නගරයේ වාහනය නවත්වලා අපි වාහනය තුලම නිදා ගත්තා. උඩහාඩුවට යායුතුව තිබුනත් එලි වෙනතුරු හිටියේ ඒ පාරේ අලි ඉන්න පුළුවන් නිසා. උදේ 6.00 ට විතර අපි කඩේකින් තේ බීලා ගියා උඩහාඩුව සී හෙළ සොබාදහම් ගොවිපලට. කන්දෙගම මහත්තයා අපට පහළ කාමරයක යතුරක් දුන්නා. ටිකක් විවේක ගන්න කියලා. සුව පහසු කාමරයක්, ප්‍රගීත් නම් තද නින්දකට වැටුනා. රෑ පුරාම වාහනය පැදවූ නිසා ඔහුට වෙහෙසයි. මම නින්දත් නොනින්දත් අතර ඉඳලා එලියට ආවා. වට පිට ඇවිදලා බැලුවා. එක එක ජාතියේ කුරුල්ලන්ගේ නාද ඇහුනා. මොනරුන්ගේ වලි කුකුළන් ගේ නාදයට මම තිගැස්සිලා ගියා. ලඟදී වැහැලා නිසා ගුරු පාරේ සමහර තැන් වල මඩ කඩිති. එක් තැනක අලි බෙටි ගොඩක් දැක්කාම මම කල්පනා කළා අලිත් එනවද මේකට කියල. කෝකටත් මම නැවත කාමරයට ගියා. ටිකක් බයක් වගේ හිතට දැනුනා. ඒ අතරේ ටික වෙලාවක් ඉඳලා යහළුවා අවදි උනාට පස්සෙ නාගන්න ගියා. වෙලක් අද්දර ලොකු ලිඳක්. එතැන තිබුනු ගොඩනැගිල්ලක ශබ්දයක් ඇහුනු නිසා අපි විමසලා බැලුවා. විවෘත තිබුනේ ජනේලයක් පමණයි. එහි කූරු අතර බැල්ලියක් හිර වෙලා. දොර අගුලු දාලා වහලා නිසා අපට ඌව බේරන්න අපහසු උනා. අමාරුවෙන් ඌව බේරුවා. උගේ ඇඟ තුවාල වෙලා තිබුනා යකඩ කූරු වලට හිරවෙලා.
උදේම පිං කමක් කර ගත්තා කියල කථා කරමින් අපි නෑවා. නාලා ඇවිත් අපි කන්දෙගම මහතාගේ නිවසට යනකොට තව පිරිසක් ඇවිත් හිටියා.
නාඋල නගරය මැදින් තියනවා ඇලහැර බකමූන පාර. ඒ දිගේ කිලෝමීටර හයක් විතර ගියාම තියනවා ලග්ගල නව නගරය. පසුගිය දිනවල ඉදිවුනු පරිසර හිතකාමී නගරය. දැන් ප්‍රධාන පාරෙන් හැරිල තව කිලෝමීටර අටක් විතර යන්න ඕනා. එහෙම යනකොට හමුවෙනවා අඹන් ගඟ. නැත්නම් එහි අතු ගංගාවක්. මේ මාතලේ දිස්ත්‍රික්කය. මේ හරියට කියන්නේ අඹන. පාලමෙන් එගොඩ වෙනකොටම පාරෙන් වම්පසට පාරක් තියනවා. ගං ඉවුර දිගේ වැලිපාර යනවා. එන්න එන්නම ගස් කොලන් වැඩියි. ගිහින් ගිහින් පාර ඉවර වෙන තැන තියනවා බෝධියක්, තැපැල් හලක්, සමෘද්ධි සංගමයක් ආදිය තියෙන ගොඩනැගිල්ලක්. දඹුල්ලේ ඉඳල එන බස් රථයක අවසන් නැවතුම. ගමේ නම මම මතක් කරල කියන්නම්. හරි මතක් උනා. ගල්බොඩ.
එතැනින් එහාට පාර තියෙන්නේ වනෝද්‍යානයක් මැදින්. මොරගහකන්ද ජලාශයේ ඉහත්තෑව. රක්ෂිත වනාන්තරයක්. වැලි බොරලු වලින් සෑදුනු රලු පාරක්. හැම වාහනයකටම යන්න බැහැ. සපාරි යන ජීප් රථ වලට තමයි යන්න පුලුවන්. අලි වැට පාර හරහට ගහල දෙපැත්තට යන්නේ වනය වට කර ගෙන. අලි ගං වදින එක නවත්වන්නයි ඒ. ගම්මන්තැන්න හුදකලා ගම්මානය තියෙන්නේ මේ වනය මැදින් කිලෝමීටර හයක් ගියාමයි.
එතැනට එනතුරු අපි ගිියේ වාහන තුනකින්. නමුත් එතැනින් එහාට යන්න හැකියාව තිබුනේ එක වාහනයකටයි.
හරි හරි ඉක්මන් කරන්න. යන අය නගින්න. දැන් හොඳටම වෙලාව ගියා.
ඒ අපේ නඩේ ගුරා ගේ කටහඬ. කවුරුත් දන්නවනෙ ඉතින් තිලක් කන්දෙගම කීවාම. මගේ මිතුරා මට ඔහුව දින ගණනකට පෙර හඳුන්වා දුන්නා. උදේම එන්න කියපු කණ්ඩායම ප්‍රමාද වුනු නිසා ඔහුට ටිකක් තරහ ගිහිල්ල වගේ හිටියේ.
පුළුවන් විදියට නගින්න. අනික් අය ඉන්න. මේ අයව දාල එන්නම්.
ජීප් රථය පිටත් උනා නඩෙන් භාගයක් අරං. මමත් නැවතුනා.
අපිත් යං පස්සෙන්. කිලෝමීටර් හයනෙ.
මං කිව්වේ මෙතන හිටගෙන ඉන්න ඉවසීමක් නැති නිසා. තව කිහිප දෙනෙකුගෙන් අනුමැතිය ආවා.
ඔව් නේද? මගදි වාහනය එයිනෙ.
අපිත් අලි වැට අස්සෙන් රිංගුවා. දැන් ඉතින් යන්නයි තියෙන්නේ.
මම තොප්පියත් දමාගෙන. පොඩි කැමරාවක් හා මගේ ජංගම දුරකථනයත් දමාපු බෑග් එක එල්ලාගෙන ගමන ආරම්භ කළා. අසේල ඉස්සර උනා. අපි ඔහුගේ පසුපසින් ගියා. අසේල ටිකක් ගමන වේගවත් කළා. දැන් ඔහු අපට වඩා මීටර් පණහක් පමන ඉදිරියෙන්.
මමත් ගමන වේගවත් කළා. මා සමග සිටි පිරිස තව පහු උනා. දැන් අසේල මට වඩා මීටර් සියයක් විතර ඉදිරියෙන්. අනික් පිරිස මට වඩා මීටර් සියයක් විතර පසුපසින්. දැන් අසේලව පෙනෙන්නෙත් නැහැ. පසුපස කට්ටිය පෙනෙන්නෙත් නැහැ. පාර දිගටම පරණ අලි බෙටි. මට හීන් බයකුත් හිතට ආවා. එහෙත් දැන් ඉතින් නවතින්න බැහැනේ.
මට අවාරේ සිරිපාදයට ගිය ගමන මතක් උනා. මම හිතට ධෛර්යය අරගෙන නොබියව ඉදිරියටම ගියා. කඳු නගිමින් පල්ලම් බසිමින් ගල් සහිත පාරේ අපහසුවෙන් නමුත් ඉදිරියටම ගියා. වරින් වර අසේලව මට පෙනී නොපෙනී ගියා. මම දෙපස වනය දෙස බලමින් ඉදිරියට ගියා. එක තැනක මොනවා හරි කුඩා ගෙඩි වගයක් වැටී තිබුනා. මම එකක් ඇහිඳ ගත්තා. ඒවා මඩු ඇට. ( ගෙදර ඇවිත් ඒවා පැල කළා. එකක් විතරක් පැල උනා. ඒ මඩු පැලය කොහේ හරි වත්තක පැල කරන්න හිතාගෙන ඉන්නවා.)
තව ටිකක් යනකොට වාහනයක ශබ්දයක් ආවා. ජීප් එක ආපසු එනවා. පිටුපස කණ්ඩායම ගේන්න එය මා පසුකොට ගියා. තව ටිකදුරක් යනකොට පාර වයි අකුරක හැඩයට බෙදිලා. දකුණු පසට තිබුනු පාරේ ඈත අසේල යනවා පෙනුනා. මමත් ඒ පාරේ ගියා. දැන් වෙල් යායක්. වෙලේ් නියරක් දිගේ් ගියා. ඇලකින් එගොඩ උනාම ඈත ගරා වැටුන ගෙයක් ලඟ කලින් ආ කණ්ඩායම හිටියා.
කොහොම හරි මම ගමනාන්තය දක්වාම පා ගමනින් ම ආවා. මට ලොකු ජයග්‍රාහී හැඟීමක් හිතට ආවා. ඒත් ඉතින් වයස නිසා පොඩි වෙහෙසක් හිතටත් ගතටත් දැනුනා. ආව වේගය වැඩියි. මම උදේට කාල හිටියෙත් නැහැ. ජීප් එක එන්න කලින් එන්නයි මට අවශ්‍ය උනේ. මම පරණ ගෙදර අගුපිලේ වාඩි උනා. ඒ ගෙදර මනුස්සයාගෙන් වතුර එකක් ඉල්ලාගෙන බිව්වා. අප්පා පපුවත් එක්ක ශීතල වේගන ගියා. නැවුම් රසැති වතුර. මහන්සිය නිසා මට සීනි ටිකක් ඉල්ලගෙන කන්නත් හිතුනා. ඒත් තියනවද දන්නෙ නැහැ. පස්සෙ මම තිස්ස අතේ තිබුන බෑග් එකෙන් සූකිරි බොරෝ එකක් අරං කෑවා. එතකොට හිස කැරකිල්ල වගේ ගතිය ඇරිලා ගියා.
කට්ටියම ආවට පස්සෙ අපි ගමේ ඇවිදින්න ගියා. යන අතර තිලක් කන්දෙගම මහත්තය විස්තර කළා.
මේක නින්දගමක්. මුල්ම හිමිකාරියකට තමයි ලැබිල තියෙන්නේ ගම් වරයක් විධියට. ඒ 1918 වර්ෂයේ. සේරම භූමි ප්‍රමාණය අක්කර 550ක්. ඒ ඉඩම වර්ෂ 1931 වන විට දරුවන් පස් දෙනෙකුට බෙදිලා තියනවා එක් අයෙකුට 110 බැගින්. ඒ පළමු දරු පරම්පරාව. 1978 වනවිට දෙවන පරම්පරාව. එතකොට ඒ ලොකු ඉඩම් තව තවත් කුඩා කෑලි වලට කැඩුනා. තුන් වන හා හතර වන පරම්පරා වලට අක්කර 10 , 15 කැබලි වලට කැඩිලා. ජනයා ක්‍රම ක්‍රමයෙන් නගර වලට හා පහසුකම් ඇති වෙනත් ප්‍රදේශ වලට ඇදිලා ගිහින්. රැකියා වලට පාසල් වලට යන්න තියන පහසුව තමයි හිතලා තියෙන්නේ. අවසානයට ඉතිරි වෙලා තියෙන්නේ පවුල් දෙකයි. එත් ඉන්නේ ගෘහ මූලිකයා විතරයි. කුඹුරු අක්කර තිස් හයක්. ඉතිරිවා සේරම ගොඩ ඉඩම්. හැම ඉඩමකටම සින්නක්කර ඔප්පු තියනවා. මහවැලියට පවරා ගෙන නැහැ. වන සංරක්ෂණයට පවරා ගෙනත් නැහැ. පොදුවේ රජයට පවරා ගෙනත් නැහැ. අක්කර 110 බැගින් අයිති දෙන්නෙක් රටෙත් නැහැ. ඒ අය විදේශගත වෙලා. කොහොම කොහොම හරි ගම පාලුවට ගිහින්. අපි කණ්ඩාමක් එකතු වෙලා ගත්තොත් මෙතන ලොකු වැඩක් කරන්න පුලුවනි.
එක් පසෙකින් විශාල වනයකින් වැසුන කන්දක්. අනික් පැත්තේ අයින දිගේ දොල පාරක් ගලාගෙන යනවා. දොල ගම අයින දිගේ වක්‍රාකාරව ගලාගෙන යනවා. අපි ගෙවත්තක් තිබුනු වැටක් දිගේ පහලට ගිහින් දොලට බැස්සා. දොලෙන් එගොඩ වෙලා වෙලටත් බැහැලා. වෙලෙන් එගොඩ වෙලා ලොකු ලිඳක් ලඟ නැවතුනා.
ලිං බැම්මේ ගහල තියනවා 1932 වර්ෂය.
මේ පැත්තේ විතරක් නොවේ අනික් පැත්තේ කඳුවල ඉඳලත් දියපාරක් එනවා. ඒ දිය පාරවල් වලට මැදි වෙලා තමයි ගම තියෙන්නෙ.