Friday, January 21, 2022

සැමට ආහාර - Food for all

 Food for all

සැමට ආහාර




Food for all
  • Food for Mind
  • Food for Body
සැමට ආහාර  යන්න අපි අංශ දෙකක් යටතේ සලකා බලමු.  මනසට ආහාර හා ශරීරයට ආහාර වශයෙන්. Healthy mind is in Healthy body කියල ඉංග්‍රීසි කියමනක් තියනවා. ඒ් කියන්නේ නිරෝගී මනසක් තියෙන්නෙ අනිවාර්යෙයෙන්ම නිරෝගී සිරුරක් තුල කියන එකයි. දෙපැත්තටම ඒ්ක බලපානවා. අපි සිත් තැවුලෙන් කාලයක් ඉන්න කොට සිරුරත් ලෙඩ වෙනවා. ලෙඩ වෙලා කාලයක් ඉන්නකොට මනසත් කඩා වැටෙනවා. ඒ් නිසා සිරුරත් මනසත් දෙකම අපි සමබරව පෝෂණය කරන්න අවශ්‍යයයි.

මේ සඳහා  ශාන්තී මානව හා සමාජ සංවර්ධණ කේන්ද්‍රයෙන් ක්‍රියාත්මක කරන නියමු ව්‍යාපෘති දෙකකි. එකක් නාගරික හා ග්‍රාමීය ප්‍රදේශවල ඇති පුස්තකාල හරහා ක්‍රියාත්මක වේ. මානව සමාජය කාලීනව වැදගත් වෙන දැනුමෙන් පෝෂණය කිරීම මෙහි ප්‍රධාන පරමාර්ථයයි. සත්‍ය ගවේෂනය හා යථාර්ථවාදි දැනුම එක්රැස් කිරීම, ගබඩා කිරීම හා අවශ්‍යතා ඇති අයට බෙදා දීම මෙම ව්‍යාපෘතියේ ක්‍රියාන්විත අතර ප්‍රධාන තැනක් ගනී. මනසට ආහාර යන තේමාව යටතේ මෙම ක්‍රියාන්විතයන් සැලසුම් කොට ක්‍රියාවට නැගේ.

අනෙක් නියමු ව්‍යාපෘතිය ග්‍රාමීය ගොවිපලයි. දේශීය සහල්, දේශීය ධාන්‍ය, දේශීය එළවලු, දේශීය පළතුරු, දේශීය පලා වර්ග, දේශීය අල වර්ග,  සහල් වෙනුවට වෙනත් දේශීය ආදේශක (කොස්, දෙල් වැනි) , දියට කිරි, හා බිත්තර නිෂ්පාදනය හා බෙදාහැරීම මෙහි ක්‍රියාන්විතයන් වේ.සිරුරට පෝෂ්‍යදායී ආහාර තේමාව යටතේ මෙම ක්‍රියාන්විත යන් හඳුනා ගත හැක. 

මෙම දෙවර්ගයේම ව්‍යාපෘතිවල වියදම් ආවරණය සඳහා සෑහෙන ආදයම් එම ව්‍යාපෘති තුලින්ම ඉපැයීම සඳහා සැලසුම් සකස් කෙරේ. අධික ලාභ ඉපැයීම ඒවායේ අරමුණ නොවේ. එමෙන්ම සහභාගීත්ව පදනමකින් මෙම ක්‍රියාන්විත  ක්‍රියාවට නැගේ. එහිදී ද සහභාගි කරුවන්ගේ මානසික මෙන්ම ශාරීරික සෞඛ්‍යයට විශාල ප්‍රතිලාභයක් හිමි වේ.

සෑම ක්‍රියාන්විතයකට ම සහභාගි වන්නන් ශාන්තී මානව හා සමාජ සංවර්ධණ කේන්ද්‍රයේ දැක්මට  අනුගතව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වේ.

සෑම ක්‍රියාන්විතයකම අත්දැකීම් මෙම බ්ලොග් සටහනේ ලේඛණ ගත වේ.

පළමු ක්‍රියාන්විතය රත්මලාන කම්කරු සෙවනේ පුස්තකාලයේ මෙම මස ආරම්භවේ. එයින් සේවාවන් ලබා ගැනීමට බලාපොරොත්තු වන්නන් හට ඒ වටා එකතු විය හැක. වැඩි විස්තර සදහා 0779132307 අමතන්න. පලමු නියමු ව්‍යාපෘති ලෙස පොත් පරිවර්තන කටයුතු හා පර්යේෂණ සදහා සහාය වීම ආරම්භ කෙරේ. කම්කරු සෙවණ සන්නාමය යටතේ එම කටයුතු සිදු කෙරේ. 
මේ අතර දේශීය පලතුරු අපනයනය සදහා වගා කිරීමේ ව්‍යාපාරයක් සදහා ශක්‍යතා අධ්‍යායනයක් ආරම්භ කර ඇත. ඒ සදහා සහභාගි වීමට කැමති අය 0779132307 අමතන්න.

Saturday, January 15, 2022

නාඋල - 2

 නාඋල  ගමන - 2



2022 ත් ලැබුවා. 2021 දෙසැම්බර් මාසෙ 7 වැනිදා ආ චාරිකාවේ ඉතිරි කොටස කරන්න තමයි ආපසු වැලිවේරියෙන්  පිටත් උනේ ජනවාරි 12 වැනිදා. කුරුණෑගල කාර්යාලයයක වැඩකුත් කර ගන්න තිබුන නිසා පාන්දරින්ම පිටත් උනා. වැලිවේරියෙන් මිරිස්වත්තට. එතැනදී මම කුරුණෑගල කාර්යාලයට දුරකථනයෙන් කථා කලා. මට සෑහීමකට පත් වෙන්න පුලුවන් උත්තරයක් ලැබුන නිසා මම කෙලින්ම නාඋල යන්න තීරණය කළා.  මිරිස්වත්තෙන් නැග්ගේ ගලෙන්බිඳුනුවැව බසයට. දඹුල්ලට ටිකට් එකක් ගත්තා. රු . 257 යි. වැඩි නැහැ. ගමන් මල්ලේ තිබුනේ දවසකට හරියන ඇඳුම්, වතුර බෝතලයක් වත් ගත්තේ නැහැ. ජෛව විවිධත්වය ගැන පොත් පිංචක් තිබුනා. ඒක කියවන්න උත්සාහ කළත් වැඩි දුරක් ඒකෙන් යන්න බැරි උනා. මම හිටියේ බසයේ මැද හරියේ. ඉදිරි අසුනේ ඉඩක් ආ සැනින් මම ගියා ඒ අසුනට. ඒ නිසා හොඳින මග දෙපස හා ඉදිරිය බලමින් ගමන් කළා. ගලේවෙල දී දැක්කා බස් නැවතුමේ මාතලේ බස් නවත්වලා තියනවා. ඒත් මම බැස්සේ නැහැ. මාතලේ ගියත් ආපසු එන්න ඕනා නාඋල ට යන්නට. ගලේවෙල කඩයක් ලඟ බසය නතර කළේ තේ බොන්නට. මමත් බැහැල ගිහින් බිත්තර පාන් එකක් සහ දිවුල් බීම එකක් ගත්තා.

නැවත බසය ගමන් අරඹලා වැඩි වේලාවක් නොගිහින් දඹුල්ලට ලඟා උනා. මම බැහැලා බස් නැවතුමට ගිහින් මාතලේ බසයක නැග්ගා. ඉතා හෙමින් හෙමින් බසය ගමන් ආරම්භ කළා. එදා වගේම බදුලු ඔය පසු කළා. පරිසරය ටිකක් වියලි උනත් හොඳට ගස් කොලන් තිබුනා. ලෙනදොර පහු වෙන කොට ටිකක් බිම් මට්ටම ඉහළට නගිනවා. නාඋල තියෙන්නේ මුහුදු මට්ටමින කොපමණ උසකින් ද කියා දැන ගත යුතුයි. පාරේ දකුණු පසින් ඈතින් උස් කඳු පෙළක් පෙනෙනවා. දිය ඇලි හෝ දිය සීරාවල් රිදී පැහැයෙන් පෙනෙනවා.  තව ටික දුරක් ගිහින් නාඋල ඇලහැර හන්දියෙන් මම බැහැ ගත්තා. බසයට රු. 60 ක් දුන්නා. එදා ගත්තේ 50 යි. බස් ගාස්තු වැඩිවෙලා.

මම ඇලහැර පාරේ සෙවනකට ගිහින් තිස්ස ට ඇමතුමක් ගත්තා. ඔහු පාරේ අනික් පස හිටගෙන මට කථා කළා. මම ඔහුට එක් උනා. ඔහු මා කැඳවා ගෙන ඔහුගේ නිවසට ගියා. මම ඇඳුම් උනා තියල මුහුණ හෝදලා එහෙම වෙන ඇඳුමක් දා ගත්තා. දවල් ට කෑම එකක් කෑවා. ටික වෙලාවක් සැහැල්ලුවෙන් ඉඳලා අපි ගියා වටපිට ඇවිදින්නට. 

මුලින් ම ගියේ ඇලහැර පාරෙම කිලෝ මීටර් 5ක් විතර ගිහින් එලවළු ගොවිපල සමග කුඹුරු යායක් බලන්න. කුඹුරේ කලු හීනටි හා සුදු හීනටි වගා කරලා තිබුනා. 

වම්බටු වගාව අතර බඩ ඉරිඟු ගස් පීදිලා. එක පැත්තක පතෝල මැස්සක්. අනික් පැත්තේ කරවිල වගාව. මාලු මිරිස් පාත්තිය වෙනම.  නවීන ක්‍රමයට සුදු පොලිතීන් වලින් ආවරණය කල ග්‍රීන් හවුස් එකකුත් තිබුනා.

රජයේ ප්‍රතිපාදන වලින් ගත් මූල්‍ය ආධාර සමග ගොවියාගේ ප්‍රාග්ධනයත් යොදවලා හදපු විශාල වගා ලිඳ. වතුර බිම් මට්ටමටම තියනවා.

මේ ලිඳ නැතත් මේ ඉඩමේ එක් පැත්තක සීමාව වනාන්තරයක් සහිත කඳුකරයක්. රජයට අයත් වනයක්. ඒ පැත්තෙන් දොල පහර ඇවිත ඉඩම මැදින් යනවා. බට සවි කරලා ඉඩමට වතුර එන්න ක්‍රමය හදලා තියනවා. බීමට හා වගාවට සුදුසු ජලය නොමිලේම.

වගා බිමෙන් උඩහට කජු වගාව ක්‍රමාණුකූලව කරලා තියනවා.  ඒවා වාර කීපයක්ම අස්වැන්න දීපු ගස්. හැම ගහකම වාගේ ගම්මිරිස් වැල් යවලා. ඒවා පීදිලා. සේවකයෙක් ඉඳගෙන එවා හැමදාම නෙලනවා.

කවුරුහරි ගියාම ඉන්න කුඩා ගෙයක් හදලා තියනවා යාබද වැසිකිලි පහසුකම් සමග.



නැවත අපි නාඋල නගරයට ආවා.  මේ පහත තියන ගොවිපල කරගෙන යන්නෙ යහලුවො දෙන්නෙක් එකතුවෙලා. හොඳින් බිම සකස් කරලා තනිකරම කාබනික පොහොර භාවිතයෙන් තමයි එය කරගෙන යන්නේ.



කෙසෙල් වගාව ඉතාම සශ්‍රීකව කරන්න පුුලුවන් මේ ප්‍රදේශයේ.  හැබැයි ගොවිතැනට බහිනවා නම් ඉවසීම අවශ්‍යයයි. දින තුන හතරකින් අධික ලාබ ලබන ගැනුම් විකුනුම් වගේ නොවෙයි. මුලින් ටිකක් ආයෝජනය කරන්න ඕනා. මහන්සිවෙලා සැලැස්මකට වැඩ කරන්න ඕනා. හැබැයි අස්වැන්න ලැබෙන කොට කාලයක් එක දිගට ආදායම් ලැබෙනවා.

එලවලු, කුලුබඩු විතරක් නොවේ පලතුරු වගාවටත්  මේ පළාත හොඳයි. විශේෂයෙන් අඹ, කෙසෙල් පමණක් නොවේ දෙලුම් , පේර එහෙමත් මෙහෙ වවන්න පුලුවනි.

සත්ව පාලනයත් තව කළ හැකි දෙයක්. කිරි සඳහා ගවයින් ඇති කිරීම, ගම් බිත්තර සඳහා ගොවිපල දැනටමත් කෙරෙන දේවල් වලින් සමහරක්. 

ඔයාලට සඟවන්න ඕන නැහැනෙ ගොවිපලක් කරන්න මගේ තියන නොනිමෙන ආශාව. තනිවම නොවේ. මගේ අදහස යහලුවන්වත් එකතු කරගෙන එය කරන්නයි.  විනෝදය පමණක් නොවේ විශාල මානසික සුවයක් එක්ක ආදායමකුත් උපයා ගන්න පුලුවනි. රටේ සංවර්ධණයටත් අපට සුලුවෙන් හෝ දායක වෙන්නත් පුලුවනි.

ඉදිරියේ මගේ ශක්‍යතා අධ්‍යයනයන් යොමු වෙනව තව අලුත්ම ක්ෂෙත්‍ර කිහිපයක් ගැන. අවධානයෙන් ඉන්න. තව විස්තර සහිතව නැවත හමුවෙමු.

Naula

නාඋල ගමන

හුඟක් කාලෙක ඉඳල තමයි නාඋල යහළුවා මට එන්න කියන්නෙ. ඒත් මේ කොරෝනා උවදුර නිසා මම හැමවිටම තව ටිකක් බලමු කිය කියා ගමන කල් දැම්මා. දැන් දැන් යහළුවාගේ මුහුණත් අමතක වෙලා වගේ නිසා මා හිතුව මේ සතියේ කොහොම හරි යනවා කියලා.  මේ යහළුවා තිස්ස ඈපා. මට හමු උනේ ගම්මන්තැන්න ගිය ගමනෙදි. එදා අපේ මග පෙන්වන්නා. එදා ඇතිවුනු යහළුකම නිසා ඔහු මට නිතරම එන්න කියනවා. මමත් මේ යන්නේ නිකම්ම නොවේ. මගේ හිතේ තියනවා සැලසුම් ගොඩක්. අඩුම තරමින් එකක් වත් ගොඩදාගන්න තමයි කල්පනා කරන්නේ.

2021. 12. 07 වැනිදා උදේ පාන්දර නැගිටලා සූදානම් උනා. සෝමාත් නැගිටලා ඇවිත් මට තේ එකකුත් හදල දීලා ගමන් ගාස්තු සල්ලිත් දුන්නා. මම මගේ ගමන මල්ලත් අරං පාන්දරම පහමාරට විතර පිටත් උනා. පයින්ම වැලිවේරිය නගරයට ගිහින් ගම්පහට යන සීටීබී බසයෙන් මිරිස්වත්තට ගියා. ගිහින් දඹුල්ල හරහා වව්නියා යන බසයක නැග ගත්තා.

බසය යක්කල, නිට්ටඹුව, වරකපොල, අලව්ව, පොල්ගහවෙල. පොතුහැර, කුරුණෑගල, ඉබ්බාගමුව, ගොකරැල්ල, මැල්සිරිපුර, ගලේවෙල, පසුකොට කොට දඹුල්ල ට ලඟා උනා. ඉබ්බාගමුව හා මැල්සිරිපුර හරියේ අපූරු කුඩා වනාන්තර දෙකක් හමු වෙනවා. දඹුල්ලෙන් මම බසයෙන් බැහැල නුවර පාරෙ මාතලේ යන බසයට ගොඩ උනා.  බසය ගමන් කලේ ඉතා හෙමින්. ඒකත් හොඳයි මට පාර දෙපස හොඳින් බලා ගෙන යන්න පුළුවනි. දඹුලුඔය, ලෙනදොර, බොබැල්ල, පහුවෙල් නාඋල ට ආවා. මට ඇලහැර හන්දියෙන් බැහැ ගන්න බැරි උනා. මම බස් නැවතුමෙන් බැහැල නැවත ආපසු පයින්ම ඇලහැර හන්දියට ආවා. ත්‍රී රෝද රථයක රියදුරෙකුට කථා කරල බැලුවම ඔහු මාව ඇලහැර පාරේ ටික දුරක් ගිහින් තිස්ස ලාගේ මිදුලටම ගෙනගියා. තිස්ස ඉදිරියට ඇවිත් මාව පිලිගත්තා. 

මේ පින්තූරේ තියෙන්නේ තිස්ස ගේ මිදුල. අඹ ගස් පෙළක් බොහොම පිළිවෙලට සිටුවා නඩත්තු කර ඇති බව පෙනී ගියා.

මම පුටුවක වාඩි වෙනවත් එක්කම තිස්ස ගේ පිටුපස තැඹිලි ගහෙන් ගෙඩියක් කඩා ගෙන ඇවිත් කපල මට දුන්න. අප්පා වෙහෙස කොහෙන් ගියාද දන්නෙ නැහැ. මෙහෙ තැඹිලි රසයි වගේ කියල මට හිතුණා. ටික වෙලාවක් ආ ගිය තොරතුරු කථා කරමින් ඉඳල මම ඇඳුම් මාරු කරල හොඳින් නාගත්තා. ඒ අතර තිස්ස ගිහින් පාසලෙන් ඔවුන්ගේ පුතා ව අරං ආවා.

මම සටහන් පොතත් අරං එලියේ අඹ ගහ යට පුටුවක් තියා ගෙන හිටියා ඔවුන් එනතුරු. අපි ඉන්න නගරයේ තියන රශ්මිය මෙහේ දැනෙන්නේ නැහැ. හමන සුලඟ මේ තරම් සිසිල් අවට තියන ගස් කොලන් වෙන්න ඇති.

ඊට පස්සෙ අපි කවුරුත් වාඩිවෙලා කෑම කෑවා. මට ගහ යටටම කෑම එක බෙදල ගෙනල්ලා දුන්නේ තිස්ස ගේ බිරිඳ. කෑමෙන් පස්සෙ ටික වෙලාවක් අපි කථා බහ කරමින් විවේක ගත්තා.

හවස තුනට විතර තිස්සගේ තව යහලුවෝ දෙදෙනෙක් ආවා. අපිත් සූදානම් වෙලා ගියා ඔවුන් සමග. ගමේ ගොවිපොලවල් බලන්න තමයි මට අවශ්‍ය වෙලා තිබුනේ.



මේ තියෙන්නෙ වම්බටු වගාවක්.



කෙසෙල් වගාව.



හොඳ බතල පාත්තියක්


කඳු වලින් වට වෙච්ච පතනක් වගේ නිසා කුඩා වැව් වගේ දිය රැඳුනු තැන් තියනවා.





කුරහන් හේනක්.



මේ මදුරු තලා වර්ගය ඉතා සරුවට හැදිලා තියනවා.



මේ තියෙන්නේ අස්වනු නෙලන්න ඔන්න මෙන්න තියන ගම්මිරිස් වගාවක්



නාලන්දාව හන්දිය. නාලන්දා ගෙඩි ගේ ට යන පාර ලඟ. නාලන්දා ගෙඩි ගේ තියෙන්නෙ ලංකාවේ හරි මැද කියලයි සමහර අයගේ විශ්වාසය.



මිරිදිය ධීවර කර්මාන්තයත් යහමින් කෙරෙන පාටයි.




ඹය  පෙනෙන්නේ බෝවතැන්න ජලාශය. එහි මිරිදිය ධීවර කර්මාන්තය  කෙරෙනවා. රමණීය පරිසරයක්. මගේ  ඡායාරූප වල තත්වය එතරම් උසස් නැහැ. මම වෘත්තීය ඡායාරූප ශිල්පියෙක් නොවන නිසා. ඒත් ප්‍රදේශයේ ජන ජීවිතය තරමක් තේරුම් ගන්න පුලුවන් වේවි.


මේ ඒ අසලම තියන පන්සලකට යන පාරක්. ආරාන්‍ය සේනාසනයක් මගේ හිතේ. අපි ඇතුලට ගිහින් බැලුවේ නම් නැහැ. කොහොමටත් සොබාදහමට ලැදියාවක් දක්වන ඕනෑම අයෙකුට ඇවිද බලන්න හොඳ පැත්තක්. 

ඊ ලඟ චාරිකාවෙන් හමුවන තුරු පොඩි විරාමයක්.