නාඋල ගමන - 2
2022 ත් ලැබුවා. 2021 දෙසැම්බර් මාසෙ 7 වැනිදා ආ චාරිකාවේ ඉතිරි කොටස කරන්න තමයි ආපසු වැලිවේරියෙන් පිටත් උනේ ජනවාරි 12 වැනිදා. කුරුණෑගල කාර්යාලයයක වැඩකුත් කර ගන්න තිබුන නිසා පාන්දරින්ම පිටත් උනා. වැලිවේරියෙන් මිරිස්වත්තට. එතැනදී මම කුරුණෑගල කාර්යාලයට දුරකථනයෙන් කථා කලා. මට සෑහීමකට පත් වෙන්න පුලුවන් උත්තරයක් ලැබුන නිසා මම කෙලින්ම නාඋල යන්න තීරණය කළා. මිරිස්වත්තෙන් නැග්ගේ ගලෙන්බිඳුනුවැව බසයට. දඹුල්ලට ටිකට් එකක් ගත්තා. රු . 257 යි. වැඩි නැහැ. ගමන් මල්ලේ තිබුනේ දවසකට හරියන ඇඳුම්, වතුර බෝතලයක් වත් ගත්තේ නැහැ. ජෛව විවිධත්වය ගැන පොත් පිංචක් තිබුනා. ඒක කියවන්න උත්සාහ කළත් වැඩි දුරක් ඒකෙන් යන්න බැරි උනා. මම හිටියේ බසයේ මැද හරියේ. ඉදිරි අසුනේ ඉඩක් ආ සැනින් මම ගියා ඒ අසුනට. ඒ නිසා හොඳින මග දෙපස හා ඉදිරිය බලමින් ගමන් කළා. ගලේවෙල දී දැක්කා බස් නැවතුමේ මාතලේ බස් නවත්වලා තියනවා. ඒත් මම බැස්සේ නැහැ. මාතලේ ගියත් ආපසු එන්න ඕනා නාඋල ට යන්නට. ගලේවෙල කඩයක් ලඟ බසය නතර කළේ තේ බොන්නට. මමත් බැහැල ගිහින් බිත්තර පාන් එකක් සහ දිවුල් බීම එකක් ගත්තා.
නැවත බසය ගමන් අරඹලා වැඩි වේලාවක් නොගිහින් දඹුල්ලට ලඟා උනා. මම බැහැලා බස් නැවතුමට ගිහින් මාතලේ බසයක නැග්ගා. ඉතා හෙමින් හෙමින් බසය ගමන් ආරම්භ කළා. එදා වගේම බදුලු ඔය පසු කළා. පරිසරය ටිකක් වියලි උනත් හොඳට ගස් කොලන් තිබුනා. ලෙනදොර පහු වෙන කොට ටිකක් බිම් මට්ටම ඉහළට නගිනවා. නාඋල තියෙන්නේ මුහුදු මට්ටමින කොපමණ උසකින් ද කියා දැන ගත යුතුයි. පාරේ දකුණු පසින් ඈතින් උස් කඳු පෙළක් පෙනෙනවා. දිය ඇලි හෝ දිය සීරාවල් රිදී පැහැයෙන් පෙනෙනවා. තව ටික දුරක් ගිහින් නාඋල ඇලහැර හන්දියෙන් මම බැහැ ගත්තා. බසයට රු. 60 ක් දුන්නා. එදා ගත්තේ 50 යි. බස් ගාස්තු වැඩිවෙලා.
මම ඇලහැර පාරේ සෙවනකට ගිහින් තිස්ස ට ඇමතුමක් ගත්තා. ඔහු පාරේ අනික් පස හිටගෙන මට කථා කළා. මම ඔහුට එක් උනා. ඔහු මා කැඳවා ගෙන ඔහුගේ නිවසට ගියා. මම ඇඳුම් උනා තියල මුහුණ හෝදලා එහෙම වෙන ඇඳුමක් දා ගත්තා. දවල් ට කෑම එකක් කෑවා. ටික වෙලාවක් සැහැල්ලුවෙන් ඉඳලා අපි ගියා වටපිට ඇවිදින්නට.
මුලින් ම ගියේ ඇලහැර පාරෙම කිලෝ මීටර් 5ක් විතර ගිහින් එලවළු ගොවිපල සමග කුඹුරු යායක් බලන්න. කුඹුරේ කලු හීනටි හා සුදු හීනටි වගා කරලා තිබුනා.
වම්බටු වගාව අතර බඩ ඉරිඟු ගස් පීදිලා. එක පැත්තක පතෝල මැස්සක්. අනික් පැත්තේ කරවිල වගාව. මාලු මිරිස් පාත්තිය වෙනම. නවීන ක්‍රමයට සුදු පොලිතීන් වලින් ආවරණය කල ග්‍රීන් හවුස් එකකුත් තිබුනා.
රජයේ ප්‍රතිපාදන වලින් ගත් මූල්‍ය ආධාර සමග ගොවියාගේ ප්‍රාග්ධනයත් යොදවලා හදපු විශාල වගා ලිඳ. වතුර බිම් මට්ටමටම තියනවා.
මේ ලිඳ නැතත් මේ ඉඩමේ එක් පැත්තක සීමාව වනාන්තරයක් සහිත කඳුකරයක්. රජයට අයත් වනයක්. ඒ පැත්තෙන් දොල පහර ඇවිත ඉඩම මැදින් යනවා. බට සවි කරලා ඉඩමට වතුර එන්න ක්‍රමය හදලා තියනවා. බීමට හා වගාවට සුදුසු ජලය නොමිලේම.
වගා බිමෙන් උඩහට කජු වගාව ක්‍රමාණුකූලව කරලා තියනවා. ඒවා වාර කීපයක්ම අස්වැන්න දීපු ගස්. හැම ගහකම වාගේ ගම්මිරිස් වැල් යවලා. ඒවා පීදිලා. සේවකයෙක් ඉඳගෙන එවා හැමදාම නෙලනවා.
කවුරුහරි ගියාම ඉන්න කුඩා ගෙයක් හදලා තියනවා යාබද වැසිකිලි පහසුකම් සමග.
කෙසෙල් වගාව ඉතාම සශ්‍රීකව කරන්න පුුලුවන් මේ ප්‍රදේශයේ. හැබැයි ගොවිතැනට බහිනවා නම් ඉවසීම අවශ්‍යයයි. දින තුන හතරකින් අධික ලාබ ලබන ගැනුම් විකුනුම් වගේ නොවෙයි. මුලින් ටිකක් ආයෝජනය කරන්න ඕනා. මහන්සිවෙලා සැලැස්මකට වැඩ කරන්න ඕනා. හැබැයි අස්වැන්න ලැබෙන කොට කාලයක් එක දිගට ආදායම් ලැබෙනවා.
එලවලු, කුලුබඩු විතරක් නොවේ පලතුරු වගාවටත් මේ පළාත හොඳයි. විශේෂයෙන් අඹ, කෙසෙල් පමණක් නොවේ දෙලුම් , පේර එහෙමත් මෙහෙ වවන්න පුලුවනි.
No comments:
Post a Comment